27 වන වරට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය.
කුමන ආකාරයකින් බැලුවත් පොත් ප්‍රදර්ශනයක් යනු ජාතියේ අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන මහා පිංකමකි. ඒ ගැන කිසිදු විවාදයක් නැත. මෙවර පොත් ප්‍රදර්ශනයේදී කාගෙත් කතාබහට ලක්වූයේ යොවුන් සාහිත්‍යය රැල්ලක් ගැනය. මේවා තරුණ පරපුර ඉලක්ක කොට තාක්ෂණය භාවිතයෙන් ද නිර්මාණය වූ පොත් පත්ය. ඒවා විශාල අලෙවියක් සිදු වී තිබේ. මනරම් මුද්‍රණයක් සහිතව විශාල පිටු ප්‍රමාණ වලින් යුත් මේ පොත්වල ඇතුළාන්තය ගැන සංවාදයක් ඇතිවී තිබේ. මෙවර වටමඬල සාහිත්‍යය කතාබහ අපි ඒ වෙනුවෙන් වෙන් කළෙමු.
ජනප්‍රිය කියවීම හා තරුණ කියවීම ඉදිරියේ අවංක හා කැපවුණු සාහිත්‍යයකරුවන් බිය විය යුතු නෑ

රාජ්‍ය සම්මානිත ලේඛක එරික් ඉලයප්ආරච්චි
රාජ්‍ය සම්මානිත ලේඛක එරික් ඉලයප්ආරච්චි මහතා –
“අපි සාහිත්‍යයයි, අමුතු රැලිවලට කැමැති පොත් ප්‍රදර්ශනයයි, පටලවා ගන්න වුවමනාවක් නැහැ. මෙය ලංකාවේ සශ්‍රීක ග්‍රන්ථ කර්මාන්තයේ දැවැන්න ග්‍රන්ථ ප්‍රදර්ශනයක්. එය බොහෝ ප්‍රකාශකයින්ගේ ,බොහෝ ග්‍රන්ථවල වෙළෙඳ ප්‍රදර්ශනයක්. එනමුත් මේ ප්‍රදර්ශනයට ගුණාත්මක භාවයක් ලබා ගන්නේත්, උසස් රසිකත්වයේ පිට පෙනුමක් ලබා ගන්නේත්, ජනාකීර්ණ උළෙලක් ලෙස සෙසු උළෙල වලින් වෙනස් වුණේත් ‘රැල්ලේ නවකතා’ වලින් නොව සැබෑ සාහිත්‍යය නිසාවෙනි. අමුතු රැල්ලේ පොත් ඉදිරියේ, සැබෑ සාහිත්‍යයකරුවන් හා සාහිත්‍යය විචාරකයින් තමන්ගේ වගකීම ඉටු කළ යුතු අතර එම වගකීම පොත්පත් ප්‍රදර්ශනය මත පටවා ඇඟ බේරා ගත නොහැකියි. පොත් දැක්ම හා සාහිත්‍යය අතර සම්බන්ධයේ අන්ධකාර කලාපය වන්නේ සාහිත්‍යකරුවන් හා විචාරකයන් අමුතු රැලි කැඳවන ග්‍රන්ථ කර්මාන්තයේ අවශ්‍යතා ඉටු කිරීමට යෑමෙන් සාහිත්‍යයට වංචා කිරීමේ අවස්ථාවාදය හිස එසවීමයි. කෙනෙක් මහා සාහිත්‍යයේ අන්තර්ගතය හා නවකතා ආදියෙහි නූතන විශ්වීය අන්‍යතාව නොදකිනතාක් මහ රැලිවලට ඉඩ දෙන තරගකාරී හා ලාභදායී ග්‍රන්ථ කර්මාන්තය, මහා සාහිත්‍යය යටපත් කිරීමේ පාපයට හා සංස්කෘතික අපරාධයට හවුල් වෙනවා. ජනප්‍රිය කියවීම හා තරුණ කියවීම ඉදිරියේ අවංක හා කැපවුණු සාහිත්‍යයකරුවන් බිය විය යුතු නෑ.”
දරුවන් කියවන පොත් ගැන දෙමාපියන් නිතර අවධානයෙන් සිටිය යුතුයි

කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානිත ලේඛක කීර්ති වැලිසරගේ මහතා –
“ඇත්තටම මේ අමුතු රැල්ලේ පොත් ගැන මමත් දැනුවත්. ඒත් මම හිතන්නෙ නම් මොන ආකාරයේ රැළි ආවත් ඒවා පවතින්නේ නැති බවයි. ඒවල ආයුෂ බොහොම කෙටියි. ඉතා ඈත කාලයේ පටන් සාහිත්‍යමය පරිසරය තුළ මේ ආකාරයේ විවිධ රැලි ආපු හැටිත් ඒවා ඉක්මනින් නැතිවෙච්ච හැටිත් අපි දැකල තියෙනවා.”
“මේ අවර ගනයේ රැලි ගැන අපි වැඩිපුර කතා කිරීමත් ඒවාට කෙරෙන ප්‍රචාරණයක් කියලයි මම නම් හිතන්නෙ. මෙතෙන්දි මට කියන්න තියෙන්නෙ යහපත් කියවීමේ සංස්කෘතියක් රටේ ඇතිවිය යුතුයි කියලයි. ඒ සඳහා දෙමව්පියන්ට ගුරුවරුන්ට විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඉස්සර ගුරුවරු මේ පිළිබඳව පුළුල් කාර්ය භාරයක් ඉටුකළා. අදටත් ඇතැම් අය කරනවා. දෙමව්පියො නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕනෑ තමන්ගෙ දරුවො කියවන්නෙ කුමන ආකාරයේ පොත් ද කියල. එහෙම වුණහම මේ අවර ගනයේ සාහිත්‍යමය රැලිවල ගොදුරක් බවට තරුණ පරපුර බිලි වෙන්නේ නැහැ.”
“ඒ වගේම තමයි හොඳ දේ දිගට පවතිනවා. දැන් බලන්න කේ. ජයතිලක මහතාගේ පොත් අදටත් මුද්‍රණය වෙනවා. මහගම සේකර, මාර්ටින් වික්‍රමසිංහ වැනි අයගේ පොතුත් එහෙමයි.”
අලුත් ජෙනරේෂන් එකේ ආර්ට් එකට කිසිම නියාමනයක් දාන්න බැහැ

ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවල
ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවල මහතා –
“අලුත් ජෙනරේෂන් එකේ ආර්ට් එකට කිසිම නියාමනයක් දාන්න බැහැ. පරණ මනසකින් ලියන අයට මේ අලුත් පරපුරේ චින්තනය ඉල්ලන දේ තේරෙන්නෙ නැහැ. මේ අලුත් යොවුන් පොත් ්ෂ තාක්ෂණය තුළින්ම හදනව කියන එකටත් මම එකඟ නැහැ. ඒ ගැන පර්යේෂණයක් කවුරුත් කරලත් නැහැ. තාක්ෂණය වේගයෙන් ගලා එනකොට ඒව භාවිතා නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න ්ෂ තාක්ෂණයෙන් අපි හැමෝම වැඩ ගන්නවනෙ. ජංගම දුරකතනය ගන්න. දැන් ඒක භාවිතා කරනවනෙ.”
“මේ පොත්වලට ඉහළ ඉල්ලුමක් එනව නම් ඒකට හේතුව තමයි අලුත් පරපුර ඉල්ලන ලිවීම එතන තියෙනව කියන එක.
අලුත් පරපුරට ලිංගික අධ්‍යාපනයට මග පෙන්වීමක් නැහැ. පෙළපොතට ලිංගික අධ්‍යාපනය ගේන්න හදපුවහම භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් ඒකට විරුද්ධ වුණා. කලාව, සාහිත්‍යය කියන එක නිතරම වෙනස් වෙනවා. ඒක බලහත්කාරයෙන් නවත්තන්න බැහැ. ඒ අනුව නිර්මාණකරණයෙත් වෙනස් වීම් වෙන්න ඕනෑ. ඔය සම්මාන ලබනවා කියන පොත් මේ පරපුර බලන්නෙ නෑ. හේතුව ඒ ගොල්ලන්ගෙ ජීවිත ඉල්ලන දේවල් මේ පොත්වල නැහැ. ඒකයි. මේ අලුත් ජෙනරේෂන් එක කලාව විඳින, හොයාගෙන යන විදිහ වෙනස්. ගතානුගතිකව හිතල මේ පරපුරත් එක්ක ගනුදෙනු කරන්න බැහැ.”
පුළුල් අධ්‍යනයකින් තොරව ඒ ගැන කතා කරන්න කැමති නෑ

සම්මානිත ලේඛක සුරත් ද මැල්
සම්මානිත ලේඛක සුරත් ද මැල් මහතා –
“මේ පිළිබඳව මමත් දැනුවත්. ඒත් පුළුල් අධ්‍යනයකින් තොරව ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ”
මේක සංවිධානාත්මක වැඩක්:
නියාමනයකට මැදිහත්වීම රජයේ යුතුකමක්

විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ
විදර්ශන ප්‍රකාශන අධිපති, පරිවර්තක ජනක ඉනිමංකඩ මහතා –
“පොතක් ජනප්‍රිය වීම සාමාන්‍ය දෙයක් පොත් ප්‍රදර්ශනය තුළ. උදාහරණයක් ගත්තොත් ගිය වසරේ “ෆොගෙට් මී නොට්” කියන පොත ජනප්‍රිය වුණා. ඒක චතුරි දමයන්තිගෙ. ඒ වගේම තමයි “මාවිල්ආරු සටන” ත් ඒ විදිහට ජනප්‍රිය වුණා. ඒක අපි අහඹු ලෙස සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනයකදි දකින දෙයක්. හැබැයි මේක ඉතා සංවිධානාත්මකයි. ටික් ටොක් හරහා වීඩියෝ දාන බව පේන්න තියෙනවා. පොත්වල අපි පළවෙනි සැරේට තමයි දැක්කෙ වයස සීමාවක් සංඛේතාත්මකව ගහලා තියනවා. ඒත් අවුරුදු 13,14,15 ළමයි මේවා අරගන්න බව පේනවා. මේක එක්තරා උන්මාදයක්. දැන් අවුරුදු තුනකට කලින් මුළු ලෝකයේම තහනම් කළා “බ්ලූ වීල්” කියන ගේම් එක. ඒක අවසානයේ සියදිවි නසාගැනීමටයි බල කෙරෙන්නේ. ඒ වගේ මේ පොත්වල ඇති චරිත විසින් විවිධ බලවේග දරුවන්ගෙ මනසට ඇතුළු කරන්න පුළුවන්. ආගමික, සමාජීය වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි කරන්න පුළුවන්.”
“මේ පොත් ඉතා විශාල පිටු ගණනක් තියෙන ්ෂ වලින් නිර්මාණය කරන ඒවා. දැන් ලෝකයේ මෑතක් වනතුරු ඔය වට් පෑඩ් වගේ ඇප් භාවිතා කළේ ඉංග්‍රීසියෙන් ලියන අය. නමුත් දැන් “සිංහල බී එල් බුක්” නැත්නම් “සිංහල ජී.එල්. බුක්” කියල බැලුවොත් දහස් ගණන් පොත් තියෙනවා. දැන් මේ ගොල්ලො ඒ පොත් අරගෙන එහෙම්මම පළ කරනවා. දැන් ප්‍රකාශන කර්මාන්තයේ පිළිගත් මූලධර්මය තමයි කොච්චර අත්පිටපත් තිබුණත් පළ කරන්නෙ නිශ්චිත ප්‍රමිතියක් ඇතුළෙයි කියන එක. ලංකාවෙ මේවා කිසිම සංස්කරණයකින් තොරව පළ වෙන්න පටන් ගත්තා.”
“මේවගෙ දේවල්වලට නියාමනයක් අනිවාර්යයෙන් අවශ්‍යමයි. නියාමනය කියන්නෙ සමාජයේ ජන කණ්ඩායමක මානුෂීය සමාජීය ගමන් මගට බලපෑම් එල්ල වෙන යමක් නතර කිරීමට රජයකට යුතුකමක් තිබීමයි. පාර තිබුණා කියල අපිට ඕන ඕන විදිහට වාහන එලවන්න බැහැ. යම් ශිෂ්ට සම්පන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ. සාම්ප්‍රදායික වෙන්න කියන එක නෙවේ. නිදහස් කියන එකටත් සීමාවක් තියෙන්න ඕනෑ. පොත් ප්‍රදර්ශනය කියන එක සමාජය තුළ ගොඩනැංවෙව්වෙ පොත් කියවීම කියන දියුණු සමාජ භාවිතාව පුරුදු පුහුණු කරන්නටයි. පොත් ප්‍රදර්ශනය තුළ සිද්ධ වෙනව නම් මෙවන් තරුණ කණ්ඩායම් වෙනත් මගකට හසුරවන දේවල් අදාළ සංවිධායකයින්ට පුළුවන් වෙන්න ඕනෑ මේක පාලනය කරන්න. සමාජය තුළ මේවගේ එකක් පැතිරුණාට පස්සෙ ඒක නතර කර ගන්න හරි අමාරුයි. අවුරුදු තිහක් ප්‍රකාශන කර්මාන්තයේ හිටපු කෙනෙක් විදිහට මම හිතනවා මේක සංවිධානාත්මකයි කියල. නිකම් ලියන තරුණ පිරිසකට මෙවන් විශාල ආයෝජනයක් කරන්න බැහැ. පිටු එක්දහස් ගණන් තියෙන පොත් මේ ගානට දෙන්නත් බැහැ. දැන් මේ රැල්ල පාසල් ඇතුළට පවා ගිහින් ඉවරයි. මේ කතා පොතක එන එක චරිතයක උපන් දිනයක් පාසල් සිසුන් විසින් සමරලා තියෙනවා.”
විචාරයකින් තොරව ලියැවුණොත් එය නව පරපුරට ප්‍රබල මනෝවිද්‍යාත්මක බලපෑමක් කරනවා

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා –
“ළමා සහ නවයොවුන් ප්‍රජාව ඉලක්ක කරලා ප්‍රබන්ධ රචනය මේ වකවානුවේ ඉතා බහුලයි. මේක රැල්ලක් වගේ ඉක්මනින් ළමා නව යොවුන් මනස ආක්‍රමණය කරනවා. මෙතෙන්දි නව යොවුන් හිත් ඉලක්ක කරලා තමයි මේ ක්‍රියාකාරකම් සිදුකරන්නේ.”
“ළමා යොවුන් පිරිස කියවන ප්‍රබන්ධ ඒ අයට මනෝ විද්‍යාත්මක ව බලපෑමක් කරනවා. ඒ අයගෙ හැඟීම්, හැසිරීම්වලට මේ කියවීම් එක එල්ලේ සම්බන්ධයි. ආදරය, තරහ, වැනි දෑ වගේම සාරධර්ම වර්ධනය වෙන්නෙත් මේ කියවන කතා අනුවයි. ඒ විතරක් නෙවෙයි තමන්ගෙ ශාරීරික වර්ධනය, සමාජය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමටත් මේවායේ බලපෑම තිබෙනවා.
“අද මේ ්ෂ තාක්ෂණය තුළින් ගොඩනැගෙන මේ යොවුන් ඇමතීම් කෘත්‍රිම ස්වභාවයක් තිබෙනවා. ඒවා සංස්කෘතියට, සාරධර්මවලට සංවේදී බවක් නැහැ. ඒ වගේම අර්ථදැක්වීම් වැරදි වෙන්න පුළුවන්.” එය පවුල, සංස්කෘතිය, භාෂා වගේ කාරණාවලදි ගැඹුරු ලෙස අර්ථදැක්වීමක් කරන්නෙ නෑ. ඉතින් දරුවන්ට තර්කානුකූලව හිතන්න පුළුවන් නිවැරදි වටපිටාව හදන්න ඕනෑ. ළමා යොවුන් අයට ප්‍රබන්ධකරණයේදී වයස, සාරධර්ම වගේ කාරණා සැලකිල්ලට ගන්න ඕනෑ. දරුවන්ට මනෝ විද්‍යාත්මකව ගොඩනැගෙන්න පුළුවන් වටපිටාව පොත්වලින් හැදෙන්න ඕනෑ. විචාරයකින් තොරව ලියැවුණොත් එය මේ නව පරපුරට ප්‍රබල මනෝවිද්‍යාත්මක බලපෑමක් කරනවා.”

සාකච්ඡා කළේ
සුගත් ප්‍රේමතිලක

