ශිරන්ති හෘද රෝගියෙක්: රිමාන්ඩ් කළොත් ඇයගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් – ශිරන්තිගේ නීතිඥයා කියයි
සීටී ස්කෑන් එකට දුන්න මුදල් ශිරන්ති පෞද්ගලිකව භාවිත කරලා
විමර්ශන අවසන් වන තෙක් රිමාන්ඩ් කරන්න – අල්ලස් කොමිසම කියයි
මගේ සේවාදායකයා ස්ලිප්ඇප්නියා රෝගයෙන් පෙළෙනවා
නින්දට යන්නේ මැෂින් එකක් ආධාරයෙන් – ප්‍රදීප් කාරියවසම්ගේ නීතිඥයා
ප්‍රදීප්ට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඊයේ (7 දා) නියෝග කළාය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිගණකගත ටොමෝග්‍රැපි ස්කෑන් යන්ත්‍රයක් (සී.ටී. ස්කෑන් යන්ත්‍රයක්) ලබා දෙන බවට සඳහන් කර ඒ සඳහා රුපියල් ලක්ෂ සියයක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම මුදලින් එකී ස්කෑන් යන්ත්‍රය ලබා නොදී එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නමැති වරද මෙන්ම පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් මෙසේ ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය.
එම නඩුවේ දෙවන සැකකාරිය ලෙස ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය නම් කොට තිබුණි. ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.
සිද්ධියට අදාළ නඩුව ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළාය.
ඊයේ (07) පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් යන අය ඊයේ සවස 5.00ට පමණ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ පළමුවැනි සැකකරු ලෙස ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සහ දෙවැනි සැකකාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ යන අය නම් කර ඇති බවයි.
සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂක (නීති) යස්මදා ලොකුනාරංගොඩ මහත්මිය මෙසේ සඳහන් කළාය.
“ස්වාමිනී, ඉකුත් 2015 වසරේ ලද පැමිණිල්ලකට අදාළව විමර්ශනය ආරම්භ කළා. මෙම සිද්ධියේ පළමු සැකකරු කොළඹ 10, සුදුවැල්ල මහජන බැංකුවට සිරිලිය ගිණුමට අදාළව එන්.එස්.බී. බැංකුවෙන් රුපියල් මිලියන 10 ක් ගිණුම් ගත කරලා තියෙනවා. නිසි ක්‍රමවේදයෙන් තොරව තමයි එම මුදල ලබා දීලා තියෙන්නේ. එම සැකකරු එවකට එන්.එස්.බී. බැංකුවේ සභාපති ලෙස සේවය කළා. සාමාන්‍යයෙන් බැංකුවකින් මුදල් ලබා දිය යුත්තේ එම කාර්යය ඉටු වූ පසුයි. මොහු කලින්ම මුදල් දීලා. ඒ ගැන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඒ අනුව මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ‘දූෂණය’ නම් වරද සිදුකර තිබෙනවා. මෙම සිද්ධියට මුදල් ලබා දී තිබෙන්නේ කිසියම් බලපෑමක් මත බව පැහැදිලියි. රුපියල් මිලියන 10ක් විතරක් නෙවෙයි මෙම සිරිලිය ගිණුමට පෞද්ගලික, රාජ්‍ය ආයතනවලින් පවා ආධාර ලබාදී තිබෙනවා.
මෙම සිද්ධියේ දෙවන සැකකාරිය විසින් පළමු සැකකරුට අනුබල දී මෙම සිරිලිය ගිණුමට මුදල් ලබාගෙන. ඒ සඳහා ආධාර අනුබල දීලා. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත්තා.
ටොමෝග්‍රැෆි ස්කෑනර් (සී.ටී ස්කෑන්) යන්ත්‍රයක් ලබා ගන්න තමයි ස්වාමීනි, එන්.එස්.බී බැංකුවෙන් මුදල් ලබාගෙන තිබෙන්නේ. එම මුදල් ඇය පෞද්ගලිකව භාවිතා කරලා.
එම නිසා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලනවා.
ටොමෝග්‍රැෆි ස්කෑනර් (සී.ටී ස්කෑන්) යන්ත්‍රයක් ඉල්ලලා රිජ්වේ රෝහල ඉල්ලීමක් කර නැහැ. ඒ වන විටත් එවැනි එකක් එහි තිබිලා. ඒ බව අධ්‍යක්ෂකවරුන්ගේ ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වෙනවා.
පළමු සැකකරු වන ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මෙලෙස පවසා සිටියේය.
“දූෂණ විරෝධී පනතේ 70 වගන්තිය යටතේ තමයි මගේ සේවාදායකයා වරදක් සිදු කරලා තියෙනවා කියලා. අල්ලස් කොමිසම විසින් අධිකරණයට ප්‍රකාශ කර තිබෙන්නේ. එම අල්ලස් පනත ඔස්සේ මගේ සේවාදායකට අධිකරණයෙන් ඇප ලබාදීමට හැකියාවක් තිබෙනවා. වරද සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙන්නෙ 2015 වර්ෂයේ දැනට අවුරුදු 11ක් ගත වෙලා තියෙනවා. ඇප පනතේ 14ට වගන්තිය යටතේ අදාළ වන්නේ මාගේ සේවා දායකයාට ඇප ලබා නොදීමට හේතු ලෙස 1,2 පරීක්ෂණයට සහය නොදී අධිකරණයට නොපැමිණීම, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, ඇප මත සිටියදී වෙනත් වරදක් සිදු කිරීම, ඇප ලැබුණොත් මහජන කැළඹීමක් ඇති වීමට ඇති හැකියාව යන කරුණු තමයි. මගේ සේවාදායකට ඇප ලබා නොදීමට ඇති කරුණු. නමුත් අල්ලස් කොමිසම විසින් එවැනි කිසිදු කරුණක් සම්බන්ධයෙන් අද සඳහන් කළේ නැහැ.”
“මගේ සේවාදායකට ස්ලිප්ඇප්නියා යන රෝගය තිබෙනවා. ඔහු නින්දට යද්දි මැෂින් එකක් ආධාරයෙන් තමයි නින්දට යන්නේ. පැය දෙකක් තුළ 17 වතාවක් ඇහැරෙනවා. එලෙස ඇහැරුණේ නැත්නම් ඔහුගේ ජීවිතයට හානි සිදුවෙනවා. මරණය නතර කරන්න තමයි එලෙස ඇහැරෙන්නේ. තවද ඔහුගේ ඔළුවේ පිටිපස ගෙඩි දෙකක් තිබෙනවා. එම තත්ත්වය හේතුවෙන් ස්නායු තත්ත්වය දුර්වල වෙලා තිබෙන්නේ. එමගින් ඔහුට ජීවිත හානියක් විය හැකියි. තවද මොහුට පොදු දේපළ පනත යටතේ කිසිම වරදක් අනාවරණය වෙලා නැහැ. චෝදනා එල්ල කරලා නෑ එම නිසා ඇප මත මුදා හරින්න කියා ඉල්ලා සිටිනවා.”
ඉන් අනතුරුව දෙවෙනි සැකකාරිය වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙලෙස පවසා සිටියේය.
“ස්වාමීනී, මගේ සේවා දායිකාවට වයස අවුරුදු 73යි. ඇය රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙළෙනවා. ඇය 2019 සිට හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන තැනැත්තියක්. මෙවන් ආකාරයට හෘද රෝගී තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බන්ධනාගාර ගත කළහොත් ආතතියෙන් මිය යන්න පුළුවන්. මොකද ස්වාමීනී ඇයට හාට් ඇටැක් ඒමේ අවදානමත් තිබෙනවා. මොකද ඇයගේ ධමනි කිහිපයක් කොලොස්ටර්රෝල්වලින් අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම 2021 මොළේ ස්කෑන් එකක් කර තිබෙනවා. ඇයට රෝගී තත්ත්වයක් තිබෙනවා. හිටපු ගමන් කරකැවිල්ල ඇති වී ක්ලාන්ත වී වැටෙනවා. එය සිදු වන වේලාවක් කියන්න බැහැ. ඇයගේ කොඳු ඇට පේළියේ ද ආබාධයක් තියෙනවා. ඇයට වෙරිකෝස් තත්ත්වයක්ද තියෙනවා. ඒ නිසා ඇයට ඇයගේ දේවල් තනියෙන් කරන්න බැහැ. මේ වගේ කෙනෙක්ට බන්ධනාගාරයක් තුළ ප්‍රතිකාර කරන්න බැහැ. ඇය ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගෙන සුවය ලබමින් සිටින අයෙක්. මෙම තත්ත්වයන් සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ පළමුවන සැකකරු ඇප මත මුදා හරින ලෙසත්, දෙවන සැකකාරිය ලබන දහතුන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය.
ඒ.ජේ.ඒ. අබේනායක
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

