ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ( 08) දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී ආරම්භ කළ FinLit Expo – Colombo ප්‍රදර්ශනය සමඟ මේ වසරේ (2026) මූල්‍ය සාක්ෂරතා මාසය ආරම්භ කෙරිණි.
දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ. මෙම මූල්‍ය සාක්ෂරතා මාසය, ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයට අනුකූලව දියත් කෙරෙන පුළුල් ජාතික වැඩපිළිවෙළෙහි මූලිකාංගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2026 ඔක්තෝබර් 08 සහ 09 යන දෙදින පැවැත්වෙන ‘FinLit Expo – Colombo’ ප්‍රදර්ශනය මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, පාර්ශ්වකාර ආයතනවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන බහුපාර්ශ්වීය ප්‍රයත්නයකි. විවිධ ආයතන සමඟ සම්බන්ධ වීමට, මූල්‍ය සේවා පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමට, තම මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට සහ මූල්‍ය වංචා වලින් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ දැනුම්වත් වීමට මෙම ප්‍රදර්ශනය මඟින් මහජනතාවට අවස්ථාව සැලසේ.
එමෙන්ම, ශ්‍රී ලාංකිකයන්ට මූල්‍ය අධ්‍යාපනය ලබා දීම සහ මූල්‍ය දැනුම එදිනෙදා ජීවිතයේදී යොදා ගැනීමට ඔවුන්ව දිරිගැන්වීම සඳහා දිවයින පුරා වැඩසටහන් මාලාවක් දියත් කෙරේ. ප්‍රාදේශීය ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන මෙවැනි ප්‍රාදේශීය ප්‍රදර්ශන හයක් මෙන්ම පාර්ශ්වකාර ආයතන සමඟ එක්ව පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරකම් ද මීට ඇතුළත් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

